The Safest Place for your Money |

NSB Bank Sri Lanka Banner
මේ සකසුරුවම් මාසයයි

                                                       

මේ සකසුරුවම් මාසයයි

ජාතියට ඉතිරිකිරීම හුරු කල ජාතික ඉතිරිකිරීමේ බැංකුව  වසර 46ක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය ජනතාව සකසුරුවම්කම අනන්‍යය වු ජන බලවේගයක් බවට පත් කිරීමේ කාර්යයේ මුල්තැන ගෙන සිටී. එකී මෙහෙවර සමඟින් ඉදිරි ගමනක නිරත ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගම් නඟර දනව් සිසාරා පැතිර ඇති 255ක් වූ ශාඛා ජාලය සහ 4500කට අධික වූ තැපැල් කාර්යාල සමඟ සකසුරුවම් මාසය උත්සවාකාරයෙන් සැමරීමට නියමිතය.

 

පාට කරමු ළමා ලෝකය චිත්‍ර තරඟාවලිය 2018

සෑම වසරකම ලෝක ළමා දිනය ඔක්තෝම්බර් 1දා සමරනු ලබන්නේ ළමා සුභසාධනය, ළමා අයිතිවාසිකම් සුරැකීම, එකමුතු බව ආදිය තේමා කරගත් මාතෘකාවන් ඔස්සේ අපගේ වටිනාම සම්පත වන අනාගත පරපුර සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරීමට හා ඒහා සම්බන්ධ යෝජනා ක්‍රියාත්මක කිරීමටයි.

සෑමවිටම හොඳම දේ ළමයින්ටයි යන්න තේමා පාඨය කර ගත් ශ්‍රී ලාංකිකයන් වන අප සැමගේ ඒකායන බලාපොරොත්තුව අදට වඩා හොඳ හෙට දවසක් අපගේ දරු දැරියන්ට උදාකර දීමයි. වාර්ෂිකව ළමා දිනය උත්කර්ෂවත්ව සමරනු ලබන ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙවර ලෝක ළමා දිනයට සමගාමීව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය සමඟ එක්ව මුලතිව් දිස්ත්‍රික්කයේ නිර්මාණශීලී පාසැල්  දරු දැරියන්ගේ  චිත්‍රකර්මයෙහි දක්වන දස්කම් අගයනු වස් ‘පාට කරමු ළමා ලෝකය’ යන තේමාව යටතේ චිත්‍ර තරඟයක් පවත්වන්නේද ළමා හපනුන්ගේ හෙට දිනය වඩාත් ලස්සන කිරීමටයි.

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරල් RWWAW රාජගුරු මහතාගේ සංකල්පයකට අනුව 64 සේනාංක සේනාංකාධිපති බ්‍රිගේඩියර් KJ ජයවීර මහතාගේ උපදෙස් මත මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් සඳහා “පාට කරමු ළමා ලෝකය” තේමාව යටතේ චිත්‍ර තරඟයක්  වයස් කාණ්ඩ 5ක් යටතේ පවත්වනු ලබන අතර, එහි අවසන් තරඟය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය 2018 සැප්තැම්බර් 30 වනදා ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයේදි පැවත්වින. මෙම අවසන් තරඟය හා ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා පුර්ණ අනුග්‍රාහක දායකත්වය දක්වන්නේ ජාතික ඉතිරිකිරිමේ බැංකුවයි. අවසන් තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් RWWAW රාජගුරු මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වන අතර, ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ මුලතිව් ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානින් ඇතුලු ප්‍රභුන් සහභාගී විය.

මෙම තරඟාවලියේ පළමු අදියර යටතේ මුලික වටයේ තරඟ පාසල් මට්ටමින් පැවැත්විමට කටයුතු කරන ලදී. 1 – 2 ශ්‍රේණි, 3 – 4 – 5 ශ්‍රේණි, 6 – 7 – 8 ශ්‍රේණි, 9 – 10 – 11 ශ්‍රේණි සහ 12 – 13 ශ්‍රේණි යන වයස් කාණ්ඩ 5ක් යටතේ මෙම චිත්‍ර තරඟාවලිය පැවත්වෙන අතර, මේ වන විටද එහි පළමු අදියර යටතේ පාසල් 62ක දරු දැරියන් 1,200 කට අධික පිරිසක් සිය නිර්මාණ යොමු කිරිම තුලින් ඔවුන්ගේ ඒ සදහා ඇති උනන්දුව මොනවට ප්‍රදර්ශණය වන අතර, කැළණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අංශයේ කථිකාචාර්යවරුන්ගේ අධීක්ශණය යටතේ දෙවන අදියරට සුදුසුකම් ලබන දරු දැරියන් 200 දෙනකු මින් තෝරා ගැනින.

මෙවැනි තරඟාවලියක් මුලතිව් ප්‍රදේශයේ පවත්වනු ලබන පලමු අවස්ථාව මෙය ‍වේ. වසර 30ක් මුළුල්ලේ පැවති දරුණු යුධමය වාතාවරණය යටතේ ජීවත් වූ මුලතිව් වැසියන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ අරමුණින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරන්නා වූ විවිධ වූ ව්‍යාපෘතීන් අතරින් එකක් වන මෙම චිත්‍ර තරඟාවලිය සාමය සහ සංහිඳියාව ජාතීන් අතර පැතිරවීමට යුද්ධ හමුදාව දක්වන මහඟු දායකත්වය මනාව පිලිඹිබු කරයි.

මෙම අවසන් තරඟයේ විනිශ්චය කටයුතු කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් සහ මුලතිව් ප්‍රදේශයේ තෝරාගත් සෞන්දර්ය ගුරු මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබීය.

අවසන් තරඟයේදී එක් එක් වයස් කාණ්ඩයන්හි හොඳම චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කරනු ලබන ජයග්‍රාහකයින් පස්දෙනා හට මුදල් ත්‍යාග, සහතිකපත් හා වටිනා අධ්‍යාපනික උපකරණ කට්ටලයක් ලබා දීම ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සිදු කරනු ඇත. එමෙන්ම සහභාගී වන සියලුම තරඟකරුවන් හට සහතිකපත් හා අධ්‍යාපනික උපකරණ කට්ටල බෙදාදීමද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සිදු කරනු ලැබීය.

මෙහිදී පළමු, දෙවන, තෙවන, සිව්වන් හා පස්වන ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 12,500ක්, 10,000ක්, 7,500ක්, 5,000ක් හා 2,500ක් ත්‍යාග මුදල් වශයෙන් හිමි විය.

ජාතියට ඉතිරිකිරීම හුරු කල ජාතික ඉතිරිකිරීමේ බැංකුව  වසර 46ක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය ජනතාව සකසුරුවම අනන්‍ය වු ජන බලවේගයක් බවට පත් කිරීමේ කාර්යයේ මුල්තැන ගෙන සිටී. එකී මෙහෙවර සමඟින් ඉදිරි ගමනක නිරත ජාතික ඉතිරිකිරීමේ බැංකුව දැයේ මතු පරපුර දැනුමින් සහ කුසලතාවයෙන් බලගන්වනු පිණිස ක්‍රියාත්මක වැඩසටහන් රාශියක් අතර එකක් වන පාට කරමු ළමා ලෝකය චිත්‍ර තරඟාවලිය හෙට දින ජයගන්නට වෙරදරන ළමා හපනුන්ට සිය හැකියාව රටට සහ ලෝකයට පෙන්වා දීමට මනා අවස්ථාවක් වනු ඇත.

 

ලෝක වැඩිහිටි දින රාජ්‍ය උත්සවය

ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සරල සුගම ජීවන පෙවෙතක් ගත කල අප ශ්‍රී ලාංකිකයන් සැමවිටම අපගේ වැඩිහිටියන් ගුරු කොට ගත් සංස්කෘතියකට අනුගතවූවන් විය. වැඩිහිටියන් සතු අත්දැකීම්, පරම්පරාගත චාරිත්‍ර වාරිත්‍ර හා ගුණධර්ම අනාගත පරපුරට දායක කරමින් ශ්‍රී ලාංකික ජනතාව ආකල්පමය වශයෙන් දියුණු තියුණු කිරීමට වැඩිහිටියන්ගේ දායකත්වය අගයමින් මෙවර ලෝක වැඩිහිටි දින රජ්‍ය උත්සවය අම්පාරේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන අනුග්‍රහයෙන් පැවත්වීමට නියමිතය.

සමාජ සුභසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ හා වැඩිහිටි මහලේඛම් කාර්යාලයේ  මූලිකත්වයෙන් ගරු අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේදී වසර සියයකට වැඩි ආයුෂ වැලඳූ වැඩිහිටියන් සඳහා සමාජයේ ගෞරවය පිරිනැමීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඉතා සතුටින් ඉදිරිපත් වී සිටියි.

මෙයට අමතරව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පූර්ණ අනුග්‍රහයෙන් හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා ආයතනය විසින් වැඩිහිටියන් සඳහා ජංගම සෞඛ්‍යය සායන හතරක්ද පැවත්වීමට නියමිතය.

 

ලෝක ළමා දිනයට සමගාමීව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමඟ දරුදැරියන් හට ගිණුම් විවෘත කිරීම

මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මකවන මෙම වැඩසටහන යටතේ තෝරා ගත් පාසල් දරුදැරියන් හට අධ්‍යාපනික උපකරණ බෙදා දීම සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මූල්‍ය දායකත්වයෙන් නව ගිණුම් ආරම්භ කිරීම සිදු කෙරනු ඇත.

වින්දිතභාවයට පත්වීමේ අනතුරට ලක්විය හැකි සමාජයේ අඟහිඟකම් මැද ජීවත් වන අපේම දරුවන් පිරිසකට සකසුරුවම්කම හුරු කරවීමට ප්‍රයත්න දරන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මේ උත්සහය හෙට දින මූල්‍යමය අතින් ස්වාධීන යහපත් තරුණ පරම්පරාවක් බිහිකිරීමටය.

 

බාලදක්ෂ සිසු සිසුවියන්ගෙන් ඉතුරුම් පණිවිඩයක්

ශ්‍රී ලාංකීය පාසල් දරුදැරියන් හට හෙට දින ජය ගැනීමට අවශ්‍ය විෂය බාහිර දැනුම හා පෞරුෂත්ව වර්ධනය ලබා දීමේ ප්‍රමුඛතම ආයතනයක් වන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ඉතුරුම් සංකල්පය ජාතික අවශ්‍යතාවක් ලෙස පාසල් දරුවන් අතර ප්‍රචලිත කිරීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමඟ එක්ව ශ්‍රී ලාංකීය බාලදක්ෂ සිසු සිසුවියන්ගේ අනාගතකාමී දර්ශනය ශක්තිමත් කිරීමට කටයුතු යොදා ඇත.

සිලෝන් බාලදක්ෂ කවුන්සිලය ලෙස 1957 අංක 13 පනත යටතේ පිහිටවන ලද වත්මන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ලෝක බාලදක්ෂ ව්‍යාපාරයෙහි සාමාජිකත්වය දරයි.

සකසුරුවම් මාසයේ දියත් කෙරෙන මෙම ව්‍යාපෘතියේදී ළමා පරපුර සකසුරුවමින් හා මුදල් කළමණාකරනයෙන් සවිබල ගන්වනු වස් හඳුන්වා දෙන සකසුරුවම හා ඉතිරිකිරීම හා සබැඳි පුවත දස දහසකට අධික පාසල් ජාලයේ ඉගෙනුම ලබන ලක්ෂ හතලිස් පහකට වැඩි පාසල් දරුවන්ගේ හා හැත්තෑදහසකට ආසන්න බාලදක්ෂයන්ගේ සිත් සතන්හි මූල්‍ය කළමණාකරනයට ඇති ආශාව තවත් ඔප් නංවනු ඇත.

 

ලෝක තැපැල් දින රාජ්‍ය උත්සවය

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අප රටේ ආර්ථිකයට දක්වන දායකත්වය් අතිමහත්ය. 1798 ලන්දේසි පාලන යුගයේ ඇරඹි තැපැල් සේවය ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ඉතා සමීප සබඳතාවක් දක්වයි.

1885දී සිලෝන් තැපැල් කාර්යාල ඉතිරිකිරීමේ බැංකුව ලෙස ඇරඹි මුදල් තැන්පත් කිරීමේ හා නැවත ගැනීමේ හැකියාවක් සහිතව හඳුන්වාදුන් මෙම සේවය පසුකලෙක ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිහිටුවීමේදී විශාල දායකතවයක් සැපයීය.

අද දවසේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමඟ මිලියන් 22වූ ශ්‍රී ලාංකීය ජනතාවට බැංකුකරණයේ සේවාව සැපයීමටද තැපැල් ජාලය උදව් වේ.

ඔක්තෝම්බර් 9 වනදා ලෝක තැපැල් දිනය සමරන ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සිය රාජ්‍ය උත්සවය පොළොන්නරුවේදී සැමරීමට නියමිතය මේ සඳහා ප්‍රධාන අනුග්‍රහක දායකත්වය දක්වන්නේද ජාතික ඉතිරිකිරීමේ බැංකුවයි. මෙහිදී දිවයිනේ හොඳම තැපැල් කාර්යාලය හා තැපැල් නිළධාරීන් තෝරා ත්‍යාග පිරිනැමීමටද.

 

ලෝක විශ්‍රාමිකයන්ගේ දිනය සැමරීම

සෑම වසරකම ඔක්තෝම්බර් 8වනදා ලෝක ව්ශ්‍රාමිකයන්ගේ දිනය ලෙස ලෝවැසියන් සමරනු ලබයි.

මෙම වසරේ විශ්‍රාමිකයන්ගේ දින සැමරුම් උත්සව තෝරා ගත් දිස්ත්‍රික්ක කීපයකදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන අනුග්‍රාහක දායකත්වයෙන් පැවත්වෙනු ඇත.

කළුතර, මාතර, රත්නපුරය, මහනුවර, පුත්තලම, අම්පාර, බදුල්ල, පොළොන්නරුව හා යාපනය දිස්ත්‍රික්ක වලදී මෙම උත්සව පැවත්වීමට නියමිතය.

 

හපන් ප්‍රණාම උළෙල සහ 94වන ලෝක සකසුරුවම් දිනය සැමරීම

1924දී ලෝක ඉතිරිකිරීමේ බැංකු කොංග්‍රසය විසින් සෑම වසරකම ඔක්තෝම්බර් 31 වනදා ලෝක සකසුරුවම් දිනය ලෙස නම් කල අතර ලෝක ඉතිරිකිරීමේ බැංකු ආයතනයෙහි ශ්‍රී ලංකාවේ එකම නියෝජිත බැංකුව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව සෑම වසරකම ඔක්තෝම්බර් මාසය පුරාම සකසුරුවම්කම ඔප්නංවනාවූ වැඩසටහන් දියත් කරනු ලබයි. මෙම වැඩසටහන්හි මෞලි මංගල්‍යය ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව දියත් කරනු ලබන හපන් ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය හැඳින්විය හැක.

මෙවර 18 වන වරටත් සංවිධානය වන හපන් ප්‍රණාම උළෙල රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නඟර සංවර්ධන අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා සහ අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් මැතිතුමා ඇතුළු ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉහළ කළමණාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අණුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී ඔක්තෝම්බර් 31වනදා පැවත්වීමට නියමිතය.

සෑම වසරකම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගෙයේදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන්හි වැඩිම ලකුණු ලබා ගත් සිසුන් පහලොස් දෙනකු බැගින් තෝරා රුපියල් පහලොස්දහස බැගින්වූ ශිෂ්‍යත්ව පිරිනමනු ලබයි. එමන්ම ශිෂ්‍යත්ව විභාගයේදී විශේෂ අවශ්‍යතා සහිත කාණ්ඩය යටතේ වැඩිම ලකුණු ලබා ගත් ළමුන් 25 දෙනා සඳහාද රුපියල් පහලොස්දහස බැගින් වූ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුවේ.

 

ලස්සන ගෙවත්තක්, සවිමත් ආර්ථිකයක් ව්‍යාපෘතිය

එසේම, ඔක්තෝම්බර් 31වනදා ඔබ අප සැමගේම සකසුරුවම සහ ඉතිරිකිරීම පිළිබඳ පූර්වාදර්ශය සැපයීම සඳහා ගෙවතු වගාව ප්‍රචලිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි සේවා අංශය සමඟ එක්ව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ශාඛා 255 හරහාම එළවලු බීජ බෙදා දීමේ විශේෂ වැඩසටහනක් දියත් කිරීමට නියමිතය.

Click here for more photographs

Digital Banking