ඔබගේ මුදලට සුරක්ෂිතම ස්ථානය |

E
E
NSB Bank Sri Lanka Banner
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව ගරු අග්‍රාමාත්‍යතුමා හා රාජ්‍ය අමාත්‍යතුමා වෙත පිළිගැන්වේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව, සභාපතිනි, කේෂිලා ජයවර්ධන මහත්මිය විසින් පසුගියදා (16) අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය, මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මුදල්, ප්‍රාග්ධන වෙළඳපොල හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා වෙත පිළිගන්වන ලදී.

2020 ලිත් වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව මගින් පවතින ආර්ථික, සමාජයීය හා පාරිසරික සන්දර්භය තුල බැංකුවේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කර ඇත.

පසුගිය වසරේ පැවති දුෂ්කරතා මධ්‍යයේ වුවද ශක්තිමත් හා ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමත් විය. 2019 දෙසැම්බර් 31 දිනට රුපියල් ට්‍රිලියන 1.2 ක් ලෙස සටහන්වූ බැංකුවේ සමස්ත වත්කම් පදනම 17.8% ක වර්ධනයක් සමගින් 2020 දෙසැම්බර් 31 දිනට රුපියල් ට්‍රිලියන 1.4 ක් බවට පත් විය. 2019 වර්ෂයේ අගභාගයේදී රජය විසින් හඳුන්වාදෙන ලද ආර්ථික උත්තේජන මුලපිරීම් හේතුවෙන් 2020 වසර තුලදී බැංකුව එහි ඉතිහාසයේ මෙතෙක් වාර්තා කරන ලද ඉහළම බදු පෙර හා පසු ලාභය ළඟා කරගැනීමට සමත්විය. ඒ අනුව, 2019 වසරේදී සටහන්වූ රුපියල් බිලියන 10.5 ක අගයට සාපේක්ෂව 49.5% ක වර්ධනයක් සමග රුපියල් බිලියන 15.6 ක බදු පෙර ලාභයක්ද පෙර වර්ෂයේ සටහන්වූ රුපියල් බිලියන 6.4 ක අගයට සාපේක්ෂව 58.4% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 10.1 ක බදු පසු ලාභයක්ද වාර්තා විය.

කොවිඩ්-19 ව්‍යාප්තිය අවම කිරීම සඳහා රජය විසින් අත්‍යවශ්‍ය පියවර රැසක් ක්‍රියාත්මක කරන ලද පසුබිමක පීඩාවට පත් ව්‍යාපාර හා පුද්ගලයන් වෙත අත්වැලක් සැපයීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කරන ලද ණය සහනය අපගේ ගනුදෙනුකරුවන් වෙතද ලබාදෙමින් බැංකුව රජය විසින් ක්‍රියාත්මක කරන ලද සහන වැඩපිළිවෙලට දායක විය. ඒ අනුව, රජය විසින් හඳුන්වාදෙන ලද ණය සහන 2020 වර්ෂය සඳහා ලබාදීම මේ වන විට අවසන් කර ඇති බවත් 2021 වසර සඳහා අඛණ්ඩව ණය සහනය ලබාදීම සාර්ථකව සිදු කෙරෙන බවත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනි, කේෂිලා ජයවර්ධන මහත්මිය එහිදී පැවසුවාය.

රාජ්‍ය සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂිත ණය ක්‍රමයක්ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් හඳුන්වාදෙන ලද අතර 6.75% ක සහන පොලී පදනම මත වසර 15 ක ආපසු ගෙවීමේ කාල සීමාවකට යටත්ව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ණය ලබා ගත හැකි බව කේෂිලා ජයවර්ධන මහත්මිය තවදුරටත් පැවසුවාය.

2021 වසරේ පළමු කාර්තුවේදීත් අඛණ්ඩ හා ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමත් විය. එම කාල සීමාව තුලදී බැංකුවේ බදු පෙර ලාභය 198.2% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 8.3 ක් බවට පත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ අනුරූපී කාල සීමාව තුලදී සටහන්වූ රුපියල් බිලියන 1.8 ක අගයට සාපේක්ෂව බදු පසු ලාභයද 276.8% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 6.7 ක් ලෙස සටහන් විය.

අග්‍රාමාත්‍ය ලේකම්, ගාමිණී සෙනරත් මහතා, අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, යෝෂිත රාජපක්ෂ මහතා, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනී, කේෂිලා ජයවර්ධන මහත්මිය, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිළධාරී අජිත් පීරිස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අන්තර්ජාල බැංකු සේවා